Header Ads

Ads Bar

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ට කාන්තාවකගෙන් බිත්තර ප්‍රහාරයක්

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්Image copyrightEPA
Image captionඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට බිත්තරයකින් පහර දී තිබේ. මෙම ප්‍රහාරයට ඔහු ලක් වූයේ, එරට මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින පරිසරයක් තුළය.
එරට මාධ්‍ය වාර්තා කළේ, ස්කොට් මොරිසන්ගේ හිසට බිත්තරයකින් දමා ගැසුව ද එය පිපිරී නොමැති බවය. එම අවස්ථාවේදී මහලු කාන්තාවක ද බිම ඇද වැටී තිබේ.
දර්ශනවලින් පෙනී යන්නේ, කාන්තාවක මෙම බිත්තර ප්‍රහාරය එල්ල කරන ආකාරයයි. පොලිසිය පැවසුවේ, 25 හැවිරිදි එම කාන්තාව අත්අඩංගුවට ගත් බවය.
අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් එම කාන්තාව හඳුන්වා ඇත්තේ, "බියගුලු" තැනැත්තියක ලෙසය.
මෙය සිදුව ඇත්තේ කැන්බෙරා නගරයේ සිට කිලෝමීටර් 330ක් පමණ දුරින් පිහිටි ඇල්බරිහි පැවති ප්‍රාදේශීය කාන්තා සංගමයක උත්සවයක් අතරතුරය. එහිදී කිසිවෙකුට හානියක් සිදුවී නොමැත.
එම අවස්ථාවේ වහා ම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ස්කොට් මොරිසන් ඔහුගේ ආරක්ෂක සේවක මණ්ඩලයට ප්‍රසංශා කර තිබිණි.
ඕස්ට්‍රේලියානු සත්ත්ව ගොවිපළ හිමිකරුවෝ මෑතක සිට නිර්මාංශික ක්‍රියාකාරීන්ගේ විරෝධයන්ට මුහුණ දෙමින් සිටිති.
මෙම වසරේදී බිත්තර ප්‍රහාරයකට ලක් වූ පළමු ඕස්ට්‍රේලියානු දේශපාලනඥයා ස්කොට් මොරිසන් නොවේ.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් පළ කළ ඔස්ට්‍රේලියානු දක්ෂිණාංශික සෙනෙට් සභික ෆ්‍රේසර් ඇනිං වෙත මාර්තු මාසයේදී බිත්තර ප්‍රහාරයක් එල්ල විය.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් 17 හැවිරිදි පිරිමි ළමයෙකුට පොලිසිය අවවාද කර නිදහස් කර තිබිණි.


_____Reference | Copyrights_____

Copyrights of this Post (Article & Image) belong to : https://www.bbc.com/sinhala/world-48183906

No comments

Powered by Blogger.