පාකිස්තාන ප්‍රහාරය: තුවක්කුකරුවෝ තරු පහේ හෝටලයකට කඩා වදිති

පාකිස්තානයේ බලොචිස්තාන් ප්‍රාන්තයේ ග්වාදාර්හි පිහිටි තරු පහේ හෝටලයකට තුවක්කුකරුවන් තිදෙනෙකු කඩා වැදී එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ආරක්ෂක නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසති.
බලොචිස්තාන් විමුක්ති හමුදාව (Balochistan Liberation Army) නමැති බෙදුම්වාදී කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.
ඔවුන් පවසා ඇත්තේ, චීන සහ විදේශ ආයෝජකයින් සිය ඉලක්කය වූ බවය.
බීබීසී පුවත් සේවයේ ජිල් මැක්ගිවරිං වාර්තා කළේ, ප්‍රදේශයේ ජනතාවට හිමි වන ප්රතිලාභ අවම බව කියමින් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් චීන ආයෝජනවලට විරෝධය දක්වන බවය.
වෙඩි ප්‍රහාරය එල්ල වීමෙන් පසුව ග්වාදාර් වරාය නගරයේ පිහිටි පර්ල් කන්ටිනෙන්ටල් හෝටලය ආරක්ෂක බලඇණි විසින් වටලනු ලැබූ බවත් අවම වශයෙන් තුවක්කුකරුවන් තිදෙනෙකු එම ප්‍රහාරය එල්ල කර ඇති බවත් Dawn පුවත්පත වාර්තා කළේය.
හෝටලය තුළ දිගින් දිගට ම වෙඩි ප්‍රහාර එල්ල වෙමින් පැවති බව මුලදී වාර්තා විය.
එම හෝටලය විදේශිකයින් සහ ව්‍යාපාරිකයින් විසින් භාවිත කරන්නක් බව පැවසෙන අතර සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි සංඛ්‍යාව පැහැදිලි නැත. හෝටලයේ රැඳී සිටි පුද්ගලයින් රැසක් ඉන් ඉවතට ගෙන ගිය බව බලධාරීහු පැවසූහ.

බලොචිස්තාන් යනු පාකිස්තානයේ දුප්පත් ම සහ අවම වශයෙන් සංවර්ධිත පළාතකි.
පර්ල් කන්ටිනෙන්ටල් හෝටලයට ප්‍රහාරය එල්ල වූයේ, හමුදා භටයන් 11ක් ඇතුළු 14 දෙනෙකු මරා දමමින් තුවක්කුකරුවන් විසින් එම කලාපයේ දී එල්ල කරන ලද ප්‍රහාරයකින් සති කිහිපයකට පසුවය.
පාකිස්තාන් තාලිබාන්, බලොචිස්තාන් විමුක්ති හමුදාව සහ ලෂ්කාර් ඉ ජන්ග්වී (Lashkar-e-Jhangvi) ඇතුළු සන්ද්ධ කණ්ඩායම් කිහිපයක්ම ප්‍රදේශයේ ක්‍රියාත්මක වේ.
_____Reference | Copyrights_____
Copyrights of this Post (Article & Image) belong to : https://www.bbc.com/sinhala/world-48239913
Post a Comment