Header Ads

Ads Bar

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ "සුපුරුදු ජන ජීවිතයට" එළඹෙන්නැයි ජනයාගෙන් ඉල්ලති

ශ්‍රී ලංකාවේ පිපිරීම්:Image copyrightGETTY IMAGES
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට ආරක්ෂක අංශවලට හැකි වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා (මැයි 07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
විමර්ශන ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ අගමැතිවරයා, දැන් ඉතිරිව තිබෙන්නේ ප්‍රහාරකයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් ගැන විමර්ශනය කොට ඔවුන් අත්අඩංගුවට ගැනීම බව සඳහන් කළේය.
මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ ඊළඟ නායකයා ලෙස සැලකෙන මොහමඩ් නවුෆර් නැමැත්තා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවක් සභාගත කරමින් අගමැතිවරයා කියා සිටියේය.

ආරක්ෂක අංශ පැවසූ දේ

මේ අතර, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට ඍජුව සම්බන්ධ වූ සියලු දෙනා අත්අඩංගුවට හෝ ජීවිතක්ෂයට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සඳුදා (මැයි 06) දින රාත්‍රියේ ආරක්ෂක ප්‍රධානීන්ගේ විශේෂ හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
ප්‍රහාර සම්බන්ධ තොරතුරු රැසක් අගමැති පාර්ලිමේන්තුවට හෙළි කරයිImage copyrightGETTY IMAGES
"මේ කණ්ඩායමේ බෝම්බ පිළිබඳ විශේෂඥවරු දෙන්නෙක් හිටියා, ඒ දෙන්න ම මේ වෙනකොට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනාගතයේ ප්‍රහාර එල්ල කිරීමට මේ ප්‍රහාරයට සම්බන්ධ පිරිස් පුපුරුණ ද්‍රව්‍ය සඟවා තිබුණා. මේ සියලු ම පුපුරණ ද්‍රව්‍ය මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා." වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.
රටේ ජන ජීවිතය සෙමින් සෙමින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බව පැවසූ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තහවුරු නොවූ තොරතුරු විශ්වාස නොකරන ලෙසය.

'අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා!'

අසත්‍ය ප්‍රචාර විශ්වාස නොකර සුපුරුදු ජන ජීවිතයට එළඹෙන ලෙස මෙම හමුවට එක්ව සිටි යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
"අසත්‍ය ප්‍රචාරවලට බිය නොවන්න, සුපුරුදු ජන ජීවිතයට එළඹෙන්න. වසර 30ක් පැවති ලොව දරුණුතම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ ඔබේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය කෙරේ විශ්වාසය තබන්න," යැයි යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක විශේෂ ඉල්ලීමක් කරමින් කියා සිටියේය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට අදාළව මේ වන විට පුද්ගලයන් 73 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ මෙම පුද්ගලයන් 73 දෙනා රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එම පිරිස අතර 9 දෙනෙක් කාන්තාවෝ වෙති.
මීට අමතරව මෙම ප්‍රහාරකයන්ට අයත් බවට සැලකෙන රුපියල් මිලියන 140කට වැඩි මුදලක් සහ රුපියල් බිලියන 7ක් වටිනා වෙනත් වත්කම් තහනම් කිරීම සඳහා ද මේ වන විට පියවර ගනිමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සෝදිසි කිරීම්වලට මාධ්‍ය බැහැ

ශ්‍රී ලංකාවේ පිපිරීම්:
මේ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේදී හා ආරක්ෂක මෙහෙයුම් සිදු කරන අවස්ථාවලදී මාධ්‍යවේදීන් හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශ්ව ඒ සඳහා සහභාගි කර නොගන්නා ලෙස සියලු ම ආරක්ෂක අංශවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී තිබේ.
මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන පරික්ෂණ කටයුතුවල රූප රාමු මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමෙන් ඇතැම් අවස්ථාවල ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති පිරිස් ද ඊට සම්බන්ධ බවට අදහසක් සමාජය තුළ ඇති වීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
දෙවන වාරය වෙනුවෙන් අඟහරුවාදා (මැයි 07) දෙවන දිනට පාසල් පැවැත්වූ අතර ළමුන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවති බව වාර්තා විය.
කෙසේ වෙතත්, ළමුන්ගේ පැමිණීම සඳුදාට වඩා යම් වැඩි වීමක් දක්නට ලැබුණත් එය එතරම් විශාල වැඩිවීමක් නොවන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් බීබීසි සිංහල සේවයට පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, ලබන සතිය වන විට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවය.



_____Reference | Copyrights_____

Copyrights of this Post (Article & Image) belong to : https://www.bbc.com/sinhala/sri-lanka-48183911

No comments

Powered by Blogger.